ශ්‍රී ලංකා රග්බි ආයතනයේ (SLR) නිලවරණය පැවැත්වීමට තිබූ නෛතික බාධාවන් අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ වන විට විසඳා ගැනීමත් සමග, ශ්‍රී ලංකා රග්බි මහ සභාව සහ නිලවරණය අද (ඔක්තෝබර් 8) දින පැවැත්වීමට නියමිතය. ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පස්වරු 3ට මෙම මහ සභාව පැවැත්වීමට කටයුතු යොදා තිබේ. අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදු වූ මෙම නිලවරණය පැවැත්වීම ප්‍රමාද වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට රග්බි තහනමක අවදානමක් පවා මතුව තිබිණි. රග්බි නිලවරණය සඳහා නාමයෝජනා හිමි නොවූ පාර්ශ්වයක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (7) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. තවද, රග්බි ව්‍යවස්ථාව වෙනස් කිරීමට ගත් තීරණයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම නිශ්ප්‍රභ කිරීමට එම අධිකරණය ගත් තීන්දුව නිවැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තහවුරු කළ අතර, අදාළ තීන්දුව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ පියවර ගත්තේය. එමගින් නිලවරණය සඳහා වූ අවසන් බාධාවද ඉවත් විය අද පැවැත්වෙන නිලවරණයේදී, සභාපති ධුරය සඳහා හිටපු සභාපතිවරයකු වන ලසිත ගුණරත්න මහතා සහ පවිත්‍ර ප්‍රනාන්දු මහතා අතර තරඟයක් පැවැත්වේ.