පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයකින් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ හදිසි විවාදයක් හෙට (ඔක්තෝබර් 9) දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය. මෙම හදිසි විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී, නීතිඥ සුජීව සේනසිංහ මහතා විසිනි. එම යෝජනාවේ ප්‍රධාන ඉල්ලීම වන්නේ, පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් පොලිස්පතිවරයාට පැවරීමට විරෝධය පළ කිරීම සහ පොලිස් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවයි. මන්ත්‍රීවරයා මෙම යෝජනාව කථානායකවරයාට බාරදීමෙන් පසු, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙකු සිය අසුන්වලින් නැගිට එම යෝජනාවට සහාය පළ කළහ.