බස්වලටත් බැංකු කාඩ්පත් යුගය: නොවැම්බර් 30 සිට ගාස්තු ගෙවන්න අවසර!
ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව විප්ලවයක් සනිටුහන් කරමින්, 2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි බැංකු කාඩ්පත් භාවිතයෙන් බස් ගාස්තු ගෙවීමේ හැකියාව මගීන්ට ලබා දීමට රජය තීරණය කර තිබේ. මෙම ඓතිහාසික තීරණය, ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත සියලුම බස් රථවල අදාළ වනු ඇත. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (ඔක්තෝබර් 08) පාර්ලිමේන්තුවේදී ඒ බව සඳහන් කළේය. මෙම තීරණයට හේතු පැහැදිලි කරමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, "බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක හරි ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එක් ප්‍රධාන හේතුවක් ඒක. කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට" යනුවෙනි. පෞද්ගලික බස් හිමියන්ගේ සංගම්වලින් ලැබුණු දැඩි ඉල්ලීමක් මත මෙම නව කාඩ්පත් ගෙවීමේ ක්‍රමය හඳුන්වා දෙන බව අමාත්‍යවරයා පැවසීය. "ගොඩක් අය වෙනම වටේ ගිහිල්ලා තිබුණා වෙනම ට්‍රාන්ස්පෝට් කාඩ් හදන්න. කරදරකාර වැඩක් සහ ඒක පරණ වැඩක්. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා **නොවැම්බර් 30 වන විට, ඩිජිටල් අමාත්‍යාංශය සහතිකයක් දීලා තියෙනවා දැනට බස් ටිකට් මැෂින් තියෙන ඔනෑම බස් රථයකින්ම ඔනෑම මගියෙකුට තමන්ගේ තියෙන ඔනෑම බැංකුවක කාඩ් එකක් පාවිච්චි කරලා ටිකට් එකට මුදල් ගෙවන්න," යනුවෙන් අමාත්‍ය රත්නායක මහතා පැහැදිලි කළේය. මෙමගින් බස් කර්මාන්තයේ ආදායම් කාන්දුවීම් නැවැත්වීමටත්, මගීන්ට මුදල් රහිත ගෙවීම් (Cashless Payments) සඳහා පහසුකම් සැලසීමටත් රජය බලාපොරොත්තු වේ.