ශ්‍රී ලංකාවේ දෛනිකව කාන්තාවන් 15 දෙනෙකු පියයුරු පිළිකාවලට ගොදුරු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මෙම තත්ත්වය හමුවේ පියයුරු පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ වැදගත්කම සෞඛ්‍ය අමාත්‍යාංශය නැවතත් අවධාරණය කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කරන්නේ, වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදු කළ යුතු බවයි. සායනික පියයුරු පරීක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් දෙමින්, වයස අනුව අනුගමනය කළ යුතු කාලසීමාවන් මෙසේ දක්වා ඇත: වයස අවුරුදු 20-40 අතර වසර 3කට වරක් සායනික පියයුරු පරීක්ෂාව. වයස අවුරුදු 40ට වැඩි වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාව. පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, පියයුරුවල වේදනාව හෝ සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටී. මේ සඳහා දිවයින පුරා පිහිටි සුවනාරී සායන, සුවදිවි සායන, පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථාන, පියයුරු සායන සහ ශල්‍ය සායන වෙත යොමු විය හැකි බවද අමාත්‍යාංශය පෙන්වා දෙයි.