කොළඹ පාතාල කණ්ඩායම් දෙකක ගැටුමක් සඳහා සූදානම් කර තිබූ බවට සැකකෙරෙන ආයුධ තොගයක් දෙමටගොඩ බේස් ලයින් පාරේ කැලණිවැලි දුම්රිය මාර්ගය ආසන්නයේ පිහිටි පාළු නිවසක සඟවා තිබියදී බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සොයා ගනු ලැබීය. පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇති මෙම ආයුධ අතර, මිලිමීටර් 9 වර්ගයේ දේශීය නිෂ්පාදිත ගිනි අවියක්,ජීව උණ්ඩ දෙකක් සහ ටී 56 මැගසිනයක් ද තිබී ඇත. මෙම ආයුධ සඟවා තැබීම පිටුපස, බොරැල්ල වනාත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් වන 'වනාතමුල්ලේ දුමින්ද'සහ 'චතු' පාර්ශ්වයන් අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතු වී ඇති බවට පොලීසිය සැක කරයි. කිසියම් තැනැත්තෙකු ඝාතනය කිරීමේ අරමුණින් මෙම ආයුධ සූදානම් කර තිබෙන්නට ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි. මීට පෙරද මෙම කණ්ඩායම් අතර බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේදී ඝාතන කිහිපයක්ම සිදුව තිබීම මෙම සැකය තහවුරු කරයි. බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.