බොහෝ දෙනා ආහාර පිළියෙල කිරීමෙන් පසු ඉවතලන පොල් වතුර, අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ සමේ රෝග ඇතුළු රෝග රැසකට කදිම ස්වභාවික ඔසුවක් බව පර්යේෂණ තහවුරු කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන ඇති පරිදි, රසකාරක හා වර්ණක රහිත පොල් වතුර ඉහළ පෝෂණයක් සහිත ප්‍රතිශක්තිය වර්ධනය කරන පානයකි. ටී.එම්. නුවන්තිකා හර්ෂණී විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, පොල් වතුර පානයෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් පහත දැක්වේ. අධි රුධිර පීඩනය පාලනය: පොල් වතුර මගින් ධමනි තුළ රුධිරය කැටි ගැසීමේ අවදානම අඩු කරන අතර, රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. දියවැඩියාව පාලනය: එය මැග්නීසියම් ප්‍රභවයක් වන බැවින් ඉන්සියුලින් සංවේදීතාව වැඩි කර, දෙවන වර්ගයේ දියවැඩියාව ඇති පුද්ගලයින්ගේ රුධිරයේ සීනි මට්ටම අඩු කරයි. හෘද සෞඛ්‍යය: රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමෙන් හෘද සෞඛ්‍යය වැඩි දියුණු කරයි. වකුගඩු ක්‍රියාකාරිත්වය: ශරීරයේ ඇති අතිරික්ත පොටෑසියම් සහ ක්ලෝරීන් ඉවත් කිරීමෙන් වකුගඩුවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි. මුත්‍රාශයේ ආසාදන: එහි ඇති ප්‍රතිබැක්ටීරියා ගුණාංග හේතුවෙන් මුත්‍රාශයේ ආසාදන අවම කර මුත්‍රා හොඳින් පහ කිරීමට උපකාරී වේ. ජල විජලනය සහ රෝග: කොලරාව සහ උග්‍ර පාචනය වැනි තත්ත්ව යටතේ නැවත සජලනය කිරීමේ ප්‍රතිකාරයේදී පොටෑසියම් ප්‍රභවයක් ලෙස පොල් වතුර ඉතා සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නිර්දේශ කරයි. අස්ථි ශක්තිමත් කරයි: පොල් වතුර ඉතා හොඳ කැල්සියම් ප්‍රභවයක් වන අතර එය අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ. පොල් වතුර යනු විටමින් බී, ඊ, සී, යකඩ, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම් සහ ප්‍රති ඔක්සිකාරක වැනි පෝෂක රැසක් අඩංගු ස්වභාවික පානයකි. සම සහ කුරුලෑ:සමේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර, තෙල් ගතිය පාලනය කිරීම මඟින් කුරුලෑ ඇතිවීම වළක්වයි. මුල්තානි මිට්ටි හෝ කඩල පිටි සමඟ මිශ්‍ර කර ආලේප කිරීමෙන් හිරු එළියට පිලිස්සුණු සම සුවපත් කර තරුණ බව රැක දෙයි. කෙස් කළඹ: පොල් වතුරෙන් හිස සම්බාහනය කිරීමෙන් කෙස් කළඹ මෘදු වී, හිසකෙස් මුල්වල තෙතමනය ආරක්ෂා කරයි. එය ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස ද ක්‍රියා කරයි. දෙවන ලෝක යුද්ධ සමයේදී පවා සේලයින් ලෙස පොල් වතුර යොදා ගැනීමෙන් 50,000ක පමණ පිරිසක් සුවපත් කරගත් බව සඳහන් වේ. එමෙන්ම මලබද්ධය සහ ගැස්ට්‍රයිටිස් වැනි රෝගවලින් සුවය ලැබීමට ද පොල් වතුර උපකාරී වේ.