මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීමට රුපියල් බිලියන 05ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2025 වර්ෂය වෙනුවෙන් පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීමට රුපියල් මිලියන 33,500ක් වෙන් කරනු ලැබ ඇති අතර, 2025-26 මහ කන්නයේ වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති වී සහ වෙනත් ක්ෂේත්‍ර භෝග සමස්ත බිම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම තවත් රුපියල් බිලියන 05ක පමණ අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ඒ අනුව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය මත පදනම්ව පොහොර සඳහා මූල්‍ය සහනාධාර ගෙවීමට රුපියල් බිලියන 05ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉධම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.